Friday, November 16, 2012

කෙටි කතාවක් 05

                        "ඉන්න , මම ඔයාට තේකක් ගේන්නම් "

                   මෙච්චර වෙලා මගේ මුනවත් නොබලා කතාකරපු සමීර එක පාරට මා දිහා බැලුවා . ඒ ඇස් වල තිබුන ප්‍රශ්නෙට උත්තර දෙන්න තරම් මට  ඒ වෙනක්කොට හයියක් තිබුනේ නෑ .ඔයාගේ වචන වලින් මගේ කන් දෙකම පිරිලා තිබුනේ. මම හෙමිට  නැගිටලා කුස්සියට අවා. 

                කවුරු හරි කෙනෙක් මහා තදේට මගේ ඔලුව ඇතුලෙන් අල්ලන්  ඉන්නවා වගේ මට දැනෙන්න පටන් ගත්තේ වතුර රත්වෙලා ටික වෙලාවක් ගියාටත් පස්සේ.දිග හුස්මක් පිට කරලා සැහැල්ලු වෙන්න ඕනේ උනත් පිටකරගන්න  තියන හුස්ම එක්ක කදුළු කතා කරයි කියලා බයට හුස්ම ටිකට පපුව ඇතුලෙම හිරවෙලා ඉන්න ඉඩ දුන්නා .

                පුරුද්දට වගේ ඔයා ආසම කරපු කෝපි කෝප්පයක් දැනුත් මගේ අතින් හැදුනේ තවමත් මම ඔයාට ආදරේ කරන නිසා වෙන්න ඇති. ආදරේ විතරක් දියකරලා හදපු කොපි කෝප්පයත් අතේ තියාගෙන සාලෙට එනකොට මොලේ ඇතුලේ ඉදන් කවුදෝ කෑගහලා කිවුවා මුනට හිනාවක් අරන් සාලෙට යන්න කියලා , ඒත්  හදවත හිනාවෙන්න ඉඩ දුන්නේ නෑ . මම හෙමිට ගිහින් කොපි කෝප්පේ මෙසේ උඩින්  තියලා හිටපු තැනම ආයෙම වාඩි උනා. සමීර හෙමිට කෝප්පේ ලගට අරන් රවුම් ඇන්දා.

                  දිග නිහඩතාවයක් , එත් ...... අපි දෙන්නම දන්නවා අපේ හිත් එක දිගට කතා කරනවා කියලා. ඒ නිසා ඔයාට කලින් මම ඉස්සර උනා.

              "මගේ අතින් ... වෙච්ච වැරැද්ද මොකද්ද? සමීර ...... "

              ඒ අසරණ ඇස් ආයෙත් මගේ දිහා අමාරුවෙන් බැලුවා .

"වැරදි ?.... ඔය වැරදි නෑ ශාලි .... මට දැනෙන්නේ...  මම වැරදිත් නෑ ...."

                  මම මේසය උඩ  තිබුන එයාගේ පැන අරන් මෙසේ කුරුටු   ගාන්න පටන් ගත්තේ කියාගන්න දේවල් ගලපගන්න විදිහක් හොයාගන්න අමාරු නිසා. මගේ ලොකු ඇස් දෙකට යටින් පෙනුනේ සමීර මං දිහා තවමත් බලාගෙන ඉන්නවා වගේ. ඒත් මම එයා දිහා බලද්දී සමීර ඉස්සරහ දොර දිහා බලාගෙන හිටියා .

              " මගෙන් මොකක්හරි වැරද්දක් , අඩුවක්  උන හින්දනේ සමීර ඔයා වෙන ගෑනියක් එක්ක රැයක් ගත කරන්න ගියේ ?....  .......එහෙම නෙවෙයිද?....... "

         කදුළු නැති පුංචි ඉකියක්‌ එක්ක මගේ කටින් ඒ වචන ටික පිටවුනේ සමීර මට නැතිවෙයි කියන බයත් එක්කමයි ..

" මම ඒ ගෑනී එක්ක හිටියා තමයි .... මටවත් හිතාගන්න බෑ ඒ වෙලාවේ මොකද උනේ කියලා...."

               එහෙම කියලා නිහඩ උන සමීර ආයෙත් කතාකරන්න ගත්තා .

" ඒත් ශාලි .... මම එක තප්පරයක් වත්  ඒ ගැනිට ආදරේ කරේ නෑ .... මම දැනටත් ආදරේ කරන්නේ ඔයාට ....."

                    මෙච්චර වෙලා එලියට එන්න බැරුව දගලපු කදුළු කැටේ හෙමිට කම්මුල දිගේ සීතලට ගලාගෙන ඇවිත් මෙසේ උඩට වැටිලා විසිරිලා ගියා .

              " දැන් ඔයාට වෙන්න ඕනේ මොකද්ද? සමීර ..........."

" ඔයා හොදටම දන්නවා ශාලි මම කවදාවත්ම ඔයාට බොරුවක් කරලා නෑ .......... ඒ නිසා තමයි මේකත් මම ඔයාට කියන්න තීරණේ කරේ ......ඒත් ශාලි ඔයා........"

             "ඇති සමීර ............................"  

                තඩි හුස්මක් අරන් හිත පුරවාගෙන මම සමිරව නතර කරා .

           " ඔයා කැමති තීරණයක්‌ ගන්න සමීර ...... "

 "මම ඒ ගැනිට ආදරේ කරන්න ගියේ නෑ  ..... " 

                     සමීර සැරෙන් මට එහෙම කිවුවා. 

                    මම හංගගන්න බැරි ආදරෙන් සමීර දිහා බලාගෙන හිටියා. සමීර මේසෙන් නැගිටලා ඇදට ගියා. දුන් දාන කොපි කෝප්පේ එහෙමම තිබුනා .හරියටම කියන්න බැරි උනාට මම පැය දෙකක් විතර මෙසේ කුරුටුගැවා. සමිරගෙන් කිසි සද්දයක් නෑ . හැම තැනම නිශ්ශබ්දයි . ඒත් ඒ නිහඩබව අතරින් මගේ පපුව ඇතුලේ ආපු වේදනාවේ සද්දේ මට හොදට ඇහුනා. මම තවමත් සමීරට ආදරෙයිද?............ මම කොහොමද එයාව අතාරින්නෙ ? ......... හැමදේම හෙමිට විසදෙනකම් මම ඉවසන් ඉන්නවා, කියලා මම මටම තීරණක් දීලා , සමීර ලගට ගියා කතා කරන්න .  

                      මම යනකොට සමීරට හොදටම නින්ද ගිහින් . වෙනදා වගේමයි කිසි වෙනසක් නෑ . කෝට්ටේ කකුල්දෙක අස්සේ ගහගෙන පොඩි දරුවෙක් වගේ හොදටම නිදි. හැමදාම කරා වගේ සමීරගේ පිට උඩට පැනලා එයාව ඇහැරවන්න හිතුනත් මම මගේ කෝට්ටේ අතට අරන් සාලෙට අවා සෙටියේ නිදාගන්න . නින්ද ගියේ නෑ ..... 

                       හෙට උදේ නගිටලාම සමීරට කියනවා.... ඔව්, හෙට උදේම එයාව ඇහැරවලා එයාගේ අත අරන් මගේ බඩ  උඩ තියාගෙනම මම කියනවා ,

              " ඔයා තාත්තා කෙනෙක් වෙන්න යන්නේ කියලා  "

                  කොහේදෝ අතරමං වෙලා තිබුන පුංචි හිනාවක් මුනට අවා. හෙට දවස ගැන විතරක් හිතාගෙන මම නිදාගත්තා , නින්ද ගියේ නැති උනාට ..... 


-ෂදි -




            

    
            

4 comments:

  1. කියන්න ගොඩාක් දේවල් එනවා ගලපගන්න තේරෙන්නේ නෑ

    ReplyDelete
  2. හ්ම්ම්ම්... හෙට දවසේදී කඳුළු වියැකී සිනහවක් එයි...
    ජය වේවා!!!
    සිනා බො වේවා!!!

    ReplyDelete
  3. පට්ට පටපට අහ්හ්

    ReplyDelete